Sunday, May 4, 2008

මගුලක් කතා කරනවා

ප්‍රවීන නළු විජය නන්දසිරි මහතා ලෙස රගපෑ සිකුරු හතේ චිත්‍රපටය පුසගිය දිනවල කා අතරත් බහුල ලෙස කතාබහට ලක්වුණු නිෂ්පාදනයක් විය. එහි වූ මගුල් කපුවකුවාගේ චරිතය රගපෑවේ විජය නන්දසිරි මහතාය. ඔහු මගුල් කපුකම ගරු කටයුතු කාර්යයක් ලෙස ආඩම්බරයෙන් සැලකුවේය. මංගල ජය ඔහුගේ නම විය. ජය මංගල ගීත ගැයෙනා යුග දිවි සහකාර/සහකාරියන් කෙසේ හෝ ගැළපීම ඔහුගේ රාජකාරිය වූයෙන් ඒ සදහා ඔහු දිවා රෑ නොබලා වෙහෙසුනේය. මෙම මගුල් කපුකමේදී මංගල ජය විවිධ අකරතැබ්බයන්ට ගොදුරැවිය. එක් අවස්ථාවකදී පොරොන්දුවුන දෑවැද්ද නොලැබීම නිසා රකුසු වුණු එක් පාර්ශවයක් විසින් මංගල ජයට අපමණ ගුටිබැට දී නින්දා අවමානයට පත්කරන ලදි. තවත් අවස්ථාවකදී කෝපවූ පිරිස් ඔහුගේ නිවසටම පැමිණ තර්ජනය කරන ලදි. එවන් අවස්ථවලදී මගුල් කපුකමින් ඔහුගේ කොමිස් මුදල පවා ඔහුට නොලැබ හිස් අතින් ඒමට සිදුවිය. මෙවන් විටක දී මංගල ජය තම සුසුම් හා නොරිස්සුම් පිටකරනුයේ, “මගුලක් කතා කරනවා” යැයි තමාටම නොඉවසිල්ලෙන් කියා ගනිමිනි. එනමුත් ඔහු ආර්ථීක හිගතාවෙන් පෙලෙන්නෙක්ද නොවීය. එසේ නම් මෙතරම් දුක් මහන්සිවී ඔහු උපයනුයේ අනෙකක් නිසා නොව, තම එකම ආදරණීය දියණියගේ විවාහය සදහා දෑවැද්ද එකතු කිරීමටය. මෙය අහිංසක වෙර දැරීමක් නොවන්නේ ද?

මංගල ජය සහ අපි . . .
මංගල ජය මෙන් නොවූවත් ජීවිතය යන රගමඩලේදී අපද බොහෝවිට මංගල ජය චරිතය රග දක්වනවාට සැකයක් නැත. අපගේ ඉලක්කයන් හෝ දෙමව්පිය ආශාවන් හෝ සමාජ සම්මතයන් වටකරගෙන අපම දුවන අවස්ථාවන් එමටය. “අහිංසක”, “ ආදරණීය” චේතනාවන් ලෙස පෙනුණත් බෙහෝවිට ඒවා අපගේම ජීවිත වෙහෙස කරනවා නොවේද?

අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලය තුළ දී)

තරගකාරී උසස් පෙළ විභාගයෙන් එතෙරවී විශ්ව විද්‍යාලයට ඇතුළු වන අප, නොදැනීම සමබර ජීවිත රටාවෙන් මිදී උපාධියට හෝ රැකියාවට වහල්ව හඹා යනවා නම්, ඉන් අත්වන්නේද මෙවන් ඉරණමකි. හඹා යව තරමට අපද හෙම්බත් වනු ඇත. කැමතිවූ වත් නොවූවත් දෙවියන්වහන්සේ පිරිනමන සත්‍ය මාර්ගය දෙසවන් නොගැටුනු බහුතරයක් ගැවසෙන විශ්ව විද්‍යාල භූමියෙහි ඔබත් එක් අයෙකු ‍ෙලස දෙවියන් වහන්සේ ඔබව කැදවා ඇත්තේ උපරිම ලෙස අවුරුදු 3ක් හෝ 4ක් හෝ 5ක් සදහාය. දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට අපි, අපේ කාලයෙන් කෙතරම් ප්‍රමාණයක් වැය කරන්නෙමු ද? අපගේ යහළු යෙහෙළියන්ගේ වන්දනාත්මක පක්ෂපාතී අදහස් ( උදා: ජාති භේද / පන්ති භේද / ගම-නගර භේදය/ දේශපාලන පක්ෂ භේදී අදහස් ) විමසීමට අප උනන්දු වෙනවාද? ඔවුන්ගේ ප්‍රතිචාර (ප්‍රතිඅභියෝග) හමුවේ අපේ මුල්බැසගත් (ගැඹුරු) අංකාරක අදහස් නිවැරදි කර ගන්නවාද?

අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු)

උපාධිය නිමකරනවාත් සමගම නැවත අප වටකරගන්නේ කුමක්ද?
බහුතර උපාධීධාරින්ගේ සිහිනය හා බහුතර ආචාර්යවරුන්ගේ මතය පරිදි සම්මතයැයි පිළිගනුයේ කෙසේ හෝ පිටරටකට ගොස් උසස් අධ්‍යාපනයක් ලබා එහිම රැදීසිටීමය. නොදැනීම කිතුණු අපගේ ඉලක්කයද අහිංසක සිහිනයද එයම වනු ඇත. අන්‍යයන් උදෙසා වැය වීම වෙනුවට තමන් උදෙසා පමණක් වැයවීමට අප ක්‍රියාත්මක වනු ඇත. සේවාවන් බොහෝ අගහිග මෙවන් රටක් අතහැර වෙනත් රටක් සොයා යෑම දේව කැමැත්ත ලෙස තවදුරටත් අප සිතනවාද ?
අවුරුදු ගණනාවක් සෙවනැල්ලක් මෙන් අපට ඉගෙනගැනීමට අනුබල දුන් අපගේ ආදරණීය දෙමව්පියන්ගේ අහිංසක ආසාවද අපගේ අනාගත සුබ සිද්ධිය හා සැප පහසුවයි. පිළිගැනුණූ තත්ත්වයක් ඇති පිළිගැනුණු පුද්ගලයන් පුද්ගලයන් ගැවසෙන ආයතනයක රැකියාවක් කිරීම නොදැනීම අපගේද අහිංසක ආසාව වනු ඇත.සේවා කාර්ය්‍යක්ෂමතා ඇති බොහෝ පුද්ගල ආයතනවලට වඩා අකාර්ය්‍යක්ෂම රජයේ ආයතනයක කිතුණු සාක්ෂියක් වීමට දෙවියන් වහන්සේ අපව කැදවනු ඇතැයි මොහොතකට සිතුවාද?

ලාංකීය සමාජය ඉදිරියේ . . . අපි කුමක් කරමුද?

දැවෙන ආර්ථික ප්‍රශ්ණ අර්බුද පවතින වත්මන් ලාංකීය සමාජය ඉදිරියේ අප තවදුරටත් අපගේ ආශාවන් හා සමාජ රැල්ලට ඉඩදී ඒවා අහිංසක අවශ්‍යතාවයන් ලෙස සාධාරණිකරණය කරගනිමුද?
අපි මංගල ජය නොවුනත් අප රගන රගමඩලේ කොමාවන් විය යුත්තේ නොරිස්සුම් සුසුමින් පිටකරන
“මගුලක් කතාකරනවා” යන නොඉවසිලිමත් හඩද නොඑසේනම් මංගලම් ජය මංගලම් උත්සව ගී රාවයද?

රචනය : අයොමා ප්‍රනාන්දු



-----------------------------------

Wednesday, December 19, 2007

අදහස් පවුර

ඔබේ අදහස් චෝදනා යෝජනා මෙම බ්ලොග පිළිබද ඔබේ යෝජනා අදහස් පවුරට එවන්න.